ePrivacy and GPDR Cookie Consent by TermsFeed Generator ශ්‍රී ලංකා බැරෝමීටර්

ශ්‍රී ලංකා බැරෝමීටර්

ශ්‍රී ලංකා

SL බැරෝමීටරය

ශ්‍රී ලංකා බැරෝමීටරයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ සමාජ ඒකාබද්ධතාවය පිළිබඳ අවබෝධය  ගැඹුරු කිරීමය. එසේ ගැඹුරු කරන්නේ අදාල තොරතුරු මහජනයාට සපයා දී මහජන කතිකාව තව තවත් දැනුවත් කිරීමට සහ ඉදිරි කාලයේ දී ප්‍රතිසන්ධානය සහ සමාජ ඒකාබද්ධතාවය සාක්‍ෂාත් කරගැනීම සඳහා තීරණ ගන්නන්ට උපකාර කිරීමට ය.

ශ්‍රී ලංකා බැරෝමීටරය නිර්මාණය කර ඇත්තේ කාලයත් සමඟ වෙනස් වීමට ඉඩ ඇති ප්‍රතිසන්ධානය සහ සමාජ ඒකාබද්ධතාවය පිළිබඳව මහජනයා දරන විවිධ අදහස් නියෝජනය කිරීමට ය. ප්‍රතිසන්ධානය බහුවිධ බවත්, එය සන්දර්භය විශේෂිත වන බවත් සහ පුළුල් පරාසයක්  තුළ පවතින අත්දැකීම්, උත්සාහයන් සහ අවස්ථා ආවරණය කරන බවත් එය හඳුනා ගනී.

ශ්‍රී ලංකා බැරෝමීටරයේ ප්‍රධාන අංග හතර වන්නේ,

 

1. මහජන අදහස් මැනීම සඳහා ප්‍රමාණාත්මක ක්‍රමවේදයක් භාවිතා කරන වාර්ෂික, දීප ව්‍යාප්ත මහජන මත සමීක්ෂණය,

2. ප්‍රතිසන්ධානයට සහ සමාජ ඒකාබද්ධතාවය සම්බන්ධ ගැටළු වඩාත් ගැඹුරින් ගවේෂණය කිරීම සඳහා ගුණාත්මක ක්‍රමවේදයන් භාවිතා කරන තේමානුගත අධ්‍යයන මාලාව,

3. ප්‍රතිසන්ධානය සහ ඒ ආශ්‍රිත ගැටළු ආවරණය කරන සාකච්ඡා පත්‍රිකා සහ සංකල්ප සටහන් සහ, 

4. මහජන කතිකාවත දැනුවත් කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ ව්‍යාප්ති සංරචකයයි. 

 

ශ්‍රී ලංකා බැරෝමීටරය ආරම්භ කරන ලද්දේ රජයේ, රජයේ නොවන  සහ බිම් මට්ටමේ ප්‍රයත්න සඳහා සහාය දක්වන “ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම” (SRP) නම් සිව් අවුරුදු වැඩසටහනක් හරහාය. අධිකරණ අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන SRP වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය අරමුදල් සපයන අතර ශ්‍රී ලංකාවේ ජර්මානු තාක්ෂණික සහයෝගීතා ආයතනය (GIZ) සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් එය මෙහෙය වනු ලැබේ.

 

දශක දෙකක කාලයක් පුරා දකුණු අප්‍රිකානු ප්‍රතිසන්ධාන බැරෝමීටරය (SARB) මෙහෙයවන යුක්තිය සහ ප්‍රතිසන්ධාන ආයතනයේ (IJR) වටිනා අත්දැකීම් උකහා ගැනීම, ශ්‍රී ලංකා බැරෝමීටරය නිර්මාණය සඳහා පදනමක් සැපයීමට උපකාරී වී ඇත.

 

ප්‍රතිසන්ධානය සඳහා ක්‍රියා කරන සමාන අදහස් ඇති සංවිධාන ඇතුළත් හවුල්කරුවන්ගේ සමූහයක් බැරෝමීටරයට සහාය දක්වයි. බැරෝමීටරයේ මෙම අදියරේ දී, එහි හවුල්කරුවන්ගේ සමුහයට දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) සහ IJR ආයතනය ඇතුළත් වේ. SRP ව්‍යාපෘතියේ මීළඟ අදියරේදී වඩාත් ක්‍රියාකාරී දායකත්වයක් සහිතව, එහි හවුල්කරුවෙක් ලෙස සම්බන්ධ කරගැනීමට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමඟ සාකච්ඡා කරමින් පවතී.   

 

 

ගැටළු

ශ්‍රී ලංකා බැරෝමීටර් මුල්පිරුම සිදුකිරීමට හේතු මොනවාද? මෙම සමීක්ෂණයේ අරමුණ කුමක්ද?

ශ්‍රී ලංකාවේ සන්නද්ධ අරගලයත්, 2009 වසරේදී යුද්ධය අවසන් වීමත්, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ජීවිත වලට බලපෑම් ඇති කිරීමට සමත් වූ අතර, වාර්ගික, ආගමික, භාෂාමය හා ආර්ථික බෙදුම් රේඛාවන් ඔස්සේ ගැඹුරින් බෙදී වෙන් වූ සමාජයක් ඉතිරි විය. යුද්ධය අවසාන වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව සහ එහි පුරවැසියන් දිගින් දිගටම ආගමික හෝ වාර්ගික පෙළැඹවීම් ඔස්සේ අභිප්‍රේරණය ලැබූ සිදුවීම් ගණනාවකට මුහුණ පෑ අතර, ඒ සැමෙකක්ම, සාමය අත්දැකීම සඳහා රටේ ශක්‍යතාවයට බලපෑම් සිදුකරන ලදී. එක් ජාතියක් ලෙසින් ඉදිරියට යෑමටත්, අරගලයෙන් පීඩාවට පත්වූ ප්‍රජාවන් ප්‍රතිස්ථාපනය කිරීමටත්, කැබලි වී ගිය ජීවිත යථා තත්වයට පත් කිරීමටත්, විවිධ ප්‍රයත්නයන් ඔස්සේ සහ සමාජ සහජීවනය හා ප්‍රතිසන්ධානය වෙනුවෙන් වෙන් කළ සැලකිය යුතු ප්‍රමාණයක සම්පත් ඔස්සේත්, ශ්‍රී ලංකාව දැඩි කැපවීමක් සිදුකරන ලදී.

ප්‍රතිසන්ධානය සඳහා ශ්‍රී ලංකා බැරෝමීටර් මුල්පිරුම මගින් භාවිතා කරනා අර්ථ නිරූපණයක් තිබේද?

ප්‍රමාණාත්මක සමීක්ෂණයක් ඔස්සේ මැන බැලිය හැකි ප්‍රතිසන්ධානය විෂයෙහිදී, සියලුම වැදගත් ගැටළු නියෝජනය කිරීම සඳහා බැරෝමීටර් මුල්පිරුම නිර්මාණය කොට ඇත. මෙම සමීක්ෂණය මගින් ප්‍රතිසන්ධානය නිර්වචනය කිරීමට උත්සාහ නොකරයි. සංකල්පීයව සහ අනුභූතීන් ඔස්සේ දක්වන්නේ නම්, ප්‍රතිසන්ධානය බහුවිධ මුහුණුවරින් යුක්ත වන අතර, ඊට තනි අර්ථ නිරූපණයක් පමණක් ලබාදීම කළ නොහැක්කක් වෙයි. තවදුරටත් දක්වන්නේ නම්, එය එක් එක් සන්දර්භයන්ට විශේෂිත වන අතර, වඩාත් පුළුල් පරාසයක අත්දැකීම්, ප්‍රයත්නයන් හා අවස්ථාවන් කැටි කොට ගනී.මෙය, ජාත්‍යන්තරව සහ දේශීයව ප්‍රතිසන්ධානය, සාමය ගොඩනැංවීම හා සමාජ සහජීවනය සම්බන්ධයෙන් දක්නට ලැබෙන ශාස්ත්‍රීය පළ කිරීම් ඔස්සේ ද පෙනී යන කරුණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධ ව්‍යාපෘතිය (SRP) මගින් සමීක්ෂණයේ ප්‍රතිඵල/සොයාගැනීම්/දත්ත භාවිතා කරන්නේ කෙසේද? මෙම ප්‍රතිඵල භාවිතා කළ හැක්කේ කාටද? මෙම ප්‍රතිඵල, පොදු ජනතාවට ප්‍රවේශ විය හැකි ලෙසින් පවතින්නේ ද? ශාස්ත්‍රීය අරමුණු සඳහා සහ වැඩිදුර අධ්‍යයනයන් සඳහා මෙම දත්ත වලංගු වන්නේද/ලබාගත හැකි වන්නේද?
  • ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධ ව්‍යාපෘතිය (SRP) මගින් සමීක්ෂණයේ ප්‍රතිඵල/සොයාගැනීම්/දත්ත, කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය විෂයෙහි එන බරපතළ ගැටළු සම්බන්ධයෙන් මහජන සංවාදයක් ඇති කිරීමට යොදාගැනෙනු ඇත.
  • එතැනින් ඔබ්බට, මෙම සමීක්ෂණ ප්‍රතිඵල, විශාල පරාසයක පාර්ශවකරුවන් විසින් භාවිතා කෙරෙනු ඇත. රාජ්‍ය ආයතනයන්හි සේවය කරන්නන්, සංවර්ධන ක්ෂේත්‍රයේ සංවිධාන, පෞද්ගලික අංශය මෙන්ම පොදු ජනතාවද, මෙම ප්‍රතිඵල භාවිතා කරනා පාර්ශවකරුවන්ට අයත් වනු ඇත.
  • මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල ලිඛිත වාර්තාවක ආකාරයෙන් මෙන්ම, සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාර්ගගත මූලාශ්‍ර ඔස්සේත්, එසේම SRP වෙබ් අඩවිය ඔස්සේත්, ප්‍රශ්නාවලියද සමගින් ලබාගැනීමට හැකිවනු ඇත. මෙම සියලු සම්පත්, ශ්‍රී ලංකාවේ භාෂා තුනෙන්ම ලබාගැනීමට හැකිවනු ඇත.
  • මෙහිදී අවධානයට ගැණෙන ගැටලුවල සංවේදීතාවය හේතුවෙන්, එක්රැස් කරනු ලබන මුල් දත්ත බාහිර ප්‍රයෝජනය සඳහා ලබාගැනීමට හැකි නොවනු ඇත. කෙසේ වෙතත්, යම් යම් අවස්ථාවන් අනුව, එම මුල් දත්ත ලබාගැනීම සඳහා සිදුකරන ඉල්ලීම් සලකා බැලෙනු ඇත.
ඇතැම් කණ්ඩායම් වලට, තමන්ගේ ස්ථාවරය/සිටිනා තැන සාධාරණීකරණය කිරීම සඳහා මෙම ප්‍රතිඵල භාවිතා කළ හැකිද?

අසත්‍ය ප්‍රවෘත්ති සහ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත අසත්‍යයන් ඇති මෙවැනි යුගයක, මෙම සමීක්ෂණය මගින්, තම හඬ අවදි කරන්නට කිසිදු මාර්ගයක් නොමැති පුරවැසියන්ට තම අදහස් ප්‍රකාශ කිරීමටත්, ඔවුන්ගේ හඬ අවදි කිරීමටත් ඉඩ සලසනු ඇත. මෙම සමීක්ෂණයට, ප්‍රතිසන්ධානය විෂයෙහි පුළුල් පරාසයක ගැටලු සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ඇතුළත් වනු ඇති අතරම, මෙම ගැටලු සම්බන්ධයෙන් ජනතාව සැබවින්ම සිතන්නේ කුමක්ද යන්න පිළිබඳවද මෙම සමීක්ෂණය හෙළිදරව් කරනු ඇත. පොදුවේ ලබාගැනීමට ඇති ඕනෑම පුවත් හා තොරතුරු මෙන්ම, මෙම සමීක්ෂණ ප්‍රතිඵලද අයෙකුට දේශපාලන න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කිරීම උදෙසා අනිසි ලෙසින් භාවිතා කිරීමේ හැකියාවක් පවතී. කෙසේ නමුත්, මෙම ප්‍රතිඵල භාවිතා කරන්නේ කෙසේද යන වග අධීක්ෂණය කරන බවටත්, එසේ ප්‍රතිඵල භාවිතා කරන ආකාරයන් දිගින් දිගටම ලේඛනගත කොට තබන බවටත් අපි සහතික වන්නෙමු.

ජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙම සමීක්ෂණය මගින් කෙබඳු වෙනසක් ඇති කරන්නේ ද? ශ්‍රී ලංකා බැරෝමීටර් මුල්පිරුම ඔස්සේ, පොදුජනතාවට ලැබෙන්නේ කුමක්ද?
  • ශ්‍රී ලංකා බැරෝමීටර් මුල්පිරුම ක්‍රියාත්මක කිරීම, ප්‍රතිසන්ධානයට අදාළ ගැටලු සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ලබාගැනීමට ලැබෙන අවස්ථාවකි. මෙම අදහස්, රාජ්‍ය පාර්ශවකරුවන් ඇතුළුව පුළුල් පරාසයක පාර්ශවකරුවන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සඳහා වන ප්‍රයත්නයන් වැඩිදියුණු කිරීම සඳහා සකස් කොට ඇති ක්‍රියාවලීන් දැනුම්වත් කිරීමට භාවිතා කළ හැක. ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් තුළ සිටිනා විවිධ පුද්ගලයින් සහ විවිධ ආයතන හා කටයුතු කිරීමේදී ලැබී ඇති අත්දැකීම් ඇතුළත්ව, ප්‍රතිසන්ධානයට අදාළ පුළුල් පරාසයක ගැටලු සම්බන්ධව සිය මතය බෙදාහදා ගැනීමට මහජනතාවට හැකියාව ඇත.
  • උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, අප සමාජය තුළ වර්ධනය වී ඇති අසමානතාවය පිළිබඳව සමාන/වෙනස් දෘෂ්ටීන්, වාර්ගිකව එකිනෙකාගෙන් වෙනස් පුද්ගලයින් අතර ඇති බව දැන ගැනීම, අරගලයෙන් සහ යුද්ධයෙන් පීඩාවට පත් අයවලුන්ගේ අවධානය ඇදබැඳ ගන්නා කරුණක් විය හැක. එසේත් නැතිනම්, යුද්ධයෙන් සෘජුව පීඩාවට පත් නොවූ ප්‍රදේශ වල වාසය කරනා බොහෝ දෙනෙකු, දේශපාලඥයින් නිසා නොවේ නම් සැම දෙනාට එකිනෙකා සමගින් හොඳින් කටයුතු කරමින් එකට වාසය කරන්නට තිබුණේ යැයි විශ්වාස කරන බව දැන ගැනීමද, එවැනිම අවධානයට ලක් වන කරුණක් විය හැක.